Ad

අජිත් රෝහණට එකපාරටම මොකද වුණේ?



කොවිඞ් 19 වෛරසය පාලනය කිරීමේ කටයුතුවලදී පොලිසියද දැවැන්ත කාර්යභාරයක් ඉටුකරයි. පොලීසිය පැත්තෙන් සිදුවන්නේ කුමක්දැයි ජනතාව දැන ගත්තේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙනි.

 වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කොවිඞ් 19 වෛරසය පාලනය කිරීමේ කටයුතුවලට සෞඛ්‍ය අංශවලට සහය දීමේ පොලිස් මෙහෙයුම් කොටස් කිහිපයක්ම සංවිධානය කරනු ලැබීය. එහි මහජනතාවට ආමන්ත්‍රණය කිරීමේ වගකීම පවරන්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණටය.

 ඒ ඔහු ඒ කටයුත්තට දක්ෂයෙක් බව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තීරණය කරන බැවිනි. කොවිඞ් 19 පොලිස් මෙහෙයුම්වලදී පොලිස් නිලධාරීන්ට පහසුකම් සැපයීමේ කටයුත්ත පවරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාටය. එසේම තවත් නිලධාරීන් රැසකට ඒ අයට ගැළපෙන වගකීම් පවරමින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඒ සියලු දෙනාම මෙහෙයවන්නට ගත්තේ නිහඬව පොලීසියම නිසි මගකට ගනිමිනි. 

මෙහිදී පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙන් කැපී පෙනෙන චරිතයක් වූයේ අජිත් රෝහණ මහතාය. උදෑසන රූපවාහිනීය සහ ගුවන් විදුලියෙන් නිතරම දකින සහ ඇසෙන කටහඬක් බවට පත්වූයේ අජිත් රෝහණය. ජනතාව ආදරය කළ සහ ඇලුම් කළ චරිතයක් වන ඔහු මේ රෝග පාලනයේදී ජනතාව දැනුවත් කිරීමේ කටයුත්ත නිසි ආකාරයට සිදු කළේය. 


මේ නිසාම අජිත් රෝහණ මහතා ඊළඟ පොලිස්පති වනු ඇතැයි මහජන මතයක්ද ගොඩ නැඟුණේය. තවමත් නියෝජ්‍ය පොලිස්පති ධුරයේ සිටින ඔහුට ඉහළින් තවත් නිලධාරීන් රැසක්ම සිටිති. ඒ අය අතර පොලිස්පති සිහිනයෙන් පෙළන නිලධාරීන් කිහිප දෙනෙක්ද සිටිති. ඒ අය අතරද ආණ්ඩු මාරුවන විට කටුස්සන් මෙන් පාට මාරුකරමින් දේශපාලන වන්දනාවේ යන නිලධාරිහුද සිටිති. 


පූජිත් ජයසුන්දර මෙන් මේ නිලධාරින්ද මාධ්‍ය ඉදිරියේ පිම්බීමටත් පොරක් වීමටත් කැමැත්තක් දක්වන්නෙකි. කොවිඞ් 19 වෛරසය හමුවේ එකී නිලධාරින්ගේ ජනප්‍රියත්වය හීන වෙන්නට පටන් ගැනීමත් සමග ඔවුන් වෛර බැඳ ගන්නේ අජිත් රෝහණ මහතා සමගිනි. ඒ වෙන කිසිවක් නිසා නොව, අජිත් රෝහණ මහතා ඔවුන්ට වඩා කැපී පෙනෙන චරිතයක් බවට පත්වන්නට වූ බැවිනි.

 අජිත් රෝහණ මහතාව අභිබවා යන්නට ඔවුන් විවිධ සංවිධාන සමග වැඩ සටහන් ආරම්භ කළේය. මාධ්‍ය ආයතන හිමිකරුවන්ට කතාකරමින් තමන් ගැන එම මාධ්‍යවල ප්‍රචාරය කරගන්නට පවා වැඩපිළිවෙළවල් දියත් කළේය. එහෙත් අජිත් රෝහණට තරම් මාධ්‍යයෙන් ඔවුන්ට ප්‍රචාරයක් නොවීය. කොවිඞ් 19 වෛරසය පාලනය කිරීමේ කටයුත්තේදී ජනතාවට දැනෙන භාෂාවෙන් ජනතාගේ හිත් දිනා ගත් අජිත් රෝහණ එකවරම නිහඬ වන්නේ ඒත් එක්කමය. 

අජිත් රෝහණ නිහඬ වන විට ඔහුට එරෙහි සතුරු බලවේග ප්‍රචාරයක් යවන්නට වූයේ ඔහුට කොවිඞ් 19 ආසාදනය වී ඇති බවට මතයක් සමාජ ජාල ඔස්සේ පතුරුවමිනි. එය සැබෑවක් නොවන බව අජිත් රෝහණට ආදරය කරන පොලීසියේ දස දහස් ගණනක් නිලධාරීන් සොයා බැලීමේදී තහවුරු විය. කොවිඞ් 19 වෛරසය වැලඳුණු බව කී අජිත් රෝහණ මහතා දෛනිකව පොලිස් මූලස්ථානයේ දකින්නටද විය. ඔහුගෙන් පොලිස්පති නිහඬ සේවයක් ලබා ගත්තේය.


කොවිඞ් 19 වෛරසය පාලනය කිරීමේ කටයුත්තේද රටේ පොලීසියක් ඇති බවත් පොලීසියද දැවැන්ත කාර්ය භාරයක් ඉටුකරමින් ඇති බවත් රටම දැනගත්තේ අජිත් රෝහණ නිසාය. ඒ ගැන පොලීසිය පවා සිටියේ සතුටිනි. එහෙත් අජිත් රෝහණ මහතාගේ නිහඬවීමත් සමග පොලීසියද එකවරම නිහඬ වූ බවක් පෙනෙන්නට විය.පොලීසිය අභ්‍යන්තරයේ ඊට එරෙහිව රැල්ලක් මතුවන්නට ගත්තේය. 


ඒ බව බුද්ධි අංශ පවා බලධාරීන්ට දැනුම් දුන්නේ අජිත් රෝහණගේ නිහඬවීම රජය කෙරෙහි ජනතා අප්‍රසාදයක්ද ගොඩ නැගෙමින් ඇති බව සඳහන් කරමිනි. ඒත් එක්කම සමාජ ජාල ඔස්සේද අජිත් රෝහණ මහතා ගැන කථාබහ වැඩි වන්නට ගැනීමත් සමග ඔහුට දමා තිබුණු තහංචි ඉවත් වන්නේ තවදුරටත් ඔහුව නිහඬ කර තිබීමෙන් මේ අවස්ථාවේ ඇති වන ඵල විපාක භයානක බව බලධාරීන්ට පසක් වීම නිසා වන්නට පුළුවන.
රුවන් වෙඩිවර්ධන

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.