Ad

තත්ත්වය භයානක වෙමින් පවතිනවා: කියන්නේ දොස්තරලා



නාවික හමුදා කඳවුරක් තුළ අනපේක්ෂිත අන්දමට කොරෝනා වයිරසය පැතිර යෑමත් සමඟ, රට භයානක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇතැයිද රටේ යම් ප්‍රදේශයක් ආරක්ෂිත බවට සිතා සිටියද මේ වනවිට ඒ චිත්‍රය උඩු යටිකුරු වී රට තුළ අති භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

කොවිඩ් – 19 වයිරසය වෙනස් වී ව්‍යාප්ත වෙනවාද යන සැකයක් ඉස්මතු වී ඇතැයිද නාවික හමුදා කඳවුර තුළ සිටි පිරිසක් අති භයානක ආකාරයට දිනපතාම කොරෝනා ආසාදිතයන් බවට පත්වීම කෙසේ සිදුවනවාදැයි මෙතෙක් අනාවරණය වී නොමැති බැවින්, මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් වහාම සිදුකළ යුතුව ඇතැයි, එම සංගමය පවසයි.

එසේ විමර්ශනයක් සිදුකළ යුතුව ඇත්තේ කිසිවකුටත් දඬුවම් කිරීමට නොව, එම කඳවුරෙන් කීදෙනකු පිටතට ගියාදැයි, නිශ්චිතව තොරතුරු වාර්තා නොවන බැවින්, අනාගතයේ පාඩමක් ඉගෙන ගැනීමට එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුව ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

එම කඳවුරෙන් පිටතට ගොස් ඇති සංඛ්‍යාව 500ක් නම්, ඒ එක් අයකු දසදෙනකු සමඟ ගැටුණු, සමීපව ඇසුරු කිරීමක් සිදුකර ඇත්නම් 5000කට වයිරසය වැලඳීමේ අවදානමක් පවතින බැවින් දැන් කළ යුතුව තිබෙන්නේ ඒ 5000 පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම යැයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල වැනි කොරෝනා ආසාදිතයන් පිළිබඳ වාර්තා නොවන ප්‍රදේශවලින් භයානක අන්දමින් ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇති බැවින්, එසේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තෝරාගෙන වහාම හුදෙකලා කළ යුතු බවට සෞඛ්‍ය ඇමැතිතුමිය වෙත තම සංගමය ඊයේ දැනුම්දුන් බවත්, එතුමිය එය පිළිගත් බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

සියලුම හමුදා සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කර ඔවුන් කඳවුරුවලට කැඳවීමට ක්‍රියා කිරීම නිසා ඔවුන් කඳවුරුවලට පැමිණ ඇති නමුත්, ඒ අතරින් කිසිවකු ආසාදිත බව පෙන්නුම් කළහොත් ඔහු පිළිබඳව හා ඔහු ළඟින් ඇසුරු කළ පිරිස් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට එම ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හැකියාවක් නොමැති බවත්, එවැනි අවස්ථාවක් ඇති වුවහොත්, වහාම එම පුද්ගලයාගේ එම තොරතුරු ලබාගෙන අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීමට වගබලා ගත යුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

එසේ කළහොත්, රෝගී පොකුරු ටික පාලනය කරගත හැකිවනු ඇතැයිද, සමාජ දුරස්ථභාවය ඇති කිරීම සඳහා ක්‍රියාත්මකව පවතින නීතිරීති, උද්ගත වෙමින් පවතින දැඩි අවදානම් සහගත තත්ත්වය යටතේ කිසිදු වෙනසකට භාජන නොකරන ලෙසට තම සංගමය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇතැයිද වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

ඇතැම් රෝගීන්ට වයිරසය ආසාදනය වී තිබෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න තවමත් හඳුනාගෙන නොමැති බව සඳහන් කරන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හැකිතාක් සංචරණය අඩු කර, ජනතාවගේ සහයෝගය ඇති කරගත යුතුව ඇති බවත් පවසයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.