ජුනි 20 මහ මැතිවරණය වළක්වාලීමට: අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පෙත්සමක්.
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය තුළ මහමැතිවරණයක් කැඳවීම රටේ ජනතාවගේත් , රෝගීන්ගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ,එබැවින් ලබන ජූනි 20 වැනිදා මහමැතිවරණයක් පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ නීතීඥ චරිත ගුණරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් මෙන්ම, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ තිබේ.
ජුනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමින් ඉල්ලා ඇත.
නීතිඥ එම්.එල්.ෂහාබ්දීන් මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනුකර ඇත.
එහිදී පෙත්සම්කාර පාර්ශවය කියා සිටින්නේ කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20'වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවය.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ තිබෙන බවත් ය.
රටේ දැනට පවතින තත්ත්වය තුළ කොරෝනා රෝගීන් 600කට අධික පිරිසක් සොයා ගෙන තවත් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියා සිටී.එසේම සෑම දිස්ත්‍රික්කයකින්ම කොරෝනා ආසාදිත රෝගීන් මේවන විට හමුවී ඇත.ඊට අමතරව තවත් සැලකිය යුතු පිරිසක් නිරෝධායන පරීක්ෂාව යටතේ පසුවන බව පෙත්සම්කරු කියා සඳහන් කරයි.
ඒ අනූ අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත් පෙත්සම විභාගය අවසන් වන තුරු මහ මැතිවරණය අත්හිටුවීමට නියෝග කරන ලෙසත් එම පෙත්සම ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.
No comments: